MOXIE — Mars Oxygen In-Situ Resource Utilization Experiment

Ashen Saranguhewa
3 min readNov 24, 2020

--

3D-printed model of the preliminary MOXIE payload. Image credit: NASA’s Jet Propulsion Laboratory

ඔබට මතක ඇති මම මීට සති කිහිපයකට කලින් අගහරු වෙත යැවූ 2020 Mars Perseverance Rover එක පිලිබඳ මා ලියූ ලිපිය.. කියෙව්වේ නැත්නම් දැන් ම පහල තියන Link එකෙන් ගිහින් කියවලා එන්න.

ඔබ Perseverance Rover එකේ තියන උපාංග දිහා හොඳින් බැලුවා නම් ඔබට MOXIE යන වචනය මඟහැරෙන්න විදියක් නැහැ. අද ලිපිය මොකක්ද මේ MOXIE, එහෙමත් නැත්නම් Mars Oxygen In-Situ Resource Utilization Experiment කියන්නෙ මොකක්ද කියන එක ගැන.

අඟහරු මත වායුගෝලය…

MOXIE ගැන දැනගන්නට කලින් අපි අඟහරු මත වායු ගෝලය කෙටියෙන් විපරම් කරලා බලමු. අඟහරු මත තිබෙන වායුගෝලය ජීවය පැවතීමට කිසිසේත්ම සුදුසු තත්ත්ව තිබෙන වායුගෝලයක් නෙමෙයි. එහි බහුලවම තියෙන්නේ කාබන්ඩයොක්සයිඩ් වායුව. එය ප්‍රතිශතයක් වශයෙන් 95.32% ක්. ඊට අමතරව නයිට්‍රජන් වායුව 2.6% හා ආගන් වායුව 1.9% වශයෙන්ද පවතිනවා. ඒත් එක්කම සඳහන් කරන්න ඕනෙ අඟහරු මත වායුගෝලය ඉතාමත්ම තුනියි. සාමාන්‍යයෙන් පෘථිවි වායුගෝලීය පීඩනයෙන් 1%ටත් වඩා අඩු ප්‍රමාණයක් ඒක.

කෙසේ නමුත් ජීවයට අවශ්‍ය ඔක්සිජන් වායුව අඟහරු වායුගෝලයේ පවතින්නේ ඉතාම අල්ප වශයෙන්.

MOXIEගේ වගතුග…

අභ්‍යවකාශ ගවේෂණයේදී ඔක්සිජන් කියන්නෙ අමතරව ගෙනයා යුතු බරක්. ඉතින් මේ ගැටලුවට විසඳුමක් දෙන්න MOXIE නිර්මාණය කරන්න විද්‍යාඥයින් සමත් වෙලා තියෙනවා. මූලික වශයෙන් මේ උපකරණයේ පරමාර්ථය තමයි අඟහරු වායුගෝලයේ තිබෙන කාබන්ඩ්‍යොක්සයිඩ් වායුව, ඔක්සිජන් බවට පරිවර්තනය කරන එක. MOXIE උපකරණය Perseverance Rover එකේ ඉදිරි දකුණු ප්‍රදේශයේ සවිකරලා තිබෙනවා.

MOXIE Lowered into Rover. Source — NASA

MOXIE විසින් කාබන්ඩයොක්සයිඩ් වායුව, ඔක්සිජන් බවට පරිවර්තනය සිදුකරන ක්‍රමය සරලව පහත පරිදි දක්වන්න පුලුවන්.

අඟහරු වායුගෝලයේ පවතින වායුන් උපකරණයේ පවතින CO2 Acquisition and Compression (CAC) තුලට ලබාගත්තට පසුව උපකරණය තුලදී වායුගෝලීය පීඩන 1කට ආසන්න අගයකට පීඩනය කරනවා. පීඩනයට ලක්වී තිබෙන කාබන්ඩයොක්සයිඩ් වායු අණු ඉන්පසු Solid OXide Electrolyzer (SOXE) තුලට යොමුකෙරෙනවා. එහිදී කාබන්ඩයොක්සයිඩ් අණු විද්‍යුත් රසායනික ක්‍රියාවලික ලක්වී කාබන්මොනික්සයිඩ් (CO) සහ ඔක්සිජන් (O2) බවට පරිවර්තනය කෙරෙනවා. මෙහෙදී ඔක්සිජන් නිපදවෙන්නෙ එහි ඇනෝඩය මතයි. මෙහිදී සිදුවන්නෙ ඉන්ධන් කෝෂයක (Fuel Cell) ක්‍රියාවලියක ආපසු ක්‍රියාවලිය වීම විශේෂත්වයක්.

SOXEහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 800ක පමණ ඉහල අගයක් ගන්නවා. මේ සඳහා විශේෂ තාප හුදකලා පද්ධතියක් අවශ්‍ය වෙනවා ලබාගන්නා වායූන් ඉහල උෂණත්වයට ලක්කිරීමටත් පිටකරන වායූන් සිසිල් කිරීමටත්.

කෙසේ නමුත් තවමත් MOXIEහි ඔක්සිජන් නිෂ්පාදන අනුපාතය පැයකට ග්‍රෑම් 10 ක් දක්වා පමණක් බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ. මෙය තවදුරටත් දියුණු කිරීමට NASAහි රසායන විද්‍යාඥයින් සහ භෞතික විද්‍යාඥයින් ඉතා සංකීර්ණ පර්‍යේෂණ සිදුකරන බව සඳහන්.

A breakdown of MOXIE’s components

MOXIEගේ මෙහෙයුම් කාලය එක් අත්හදා බැලීමකට ආසන්න වශයෙන් පැයක් පමණ ඔක්සිජන් (O2) නිපදවන බව සඳහන්. එය වරින් වර මෙහෙයුම් කාල සීමාවේදී සැලසුම් කෙරෙන බවයි නාසා වෙබ් අඩවිය දක්වලා තිබෙන්නේ.

මේ සංකීර්ණ උපකරණයේ ක්‍රියාකාරීත්වය, Perseverance Rover එක අඟහරු මත ගොඩබෑමට ලක්වුනාට පස්සෙ තවත් හොඳින් අපට දැනගන්න පුලුවන් වේවි. මෙය ඉතා දියුණු තත්ත්වයකට ගෙන ආ පසු අඟහරු මත ජනාවාස බිහිවීම වැඩි ඈතක නැති බවයි සියලු දෙනා විශ්වාසය තබා තිබෙන්නේ.

MOXIE ගැන ඔබත් කරුණු දන්නවා ඇති. ඒ පිලිබඳ තවත් දැනුම පහල comment section එකේ යොදන්නත් අමතක කරන්න එපා :)

--

--